මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට Sahan Jayashantha Viridu
ජයමංගල ගී තාලෙට පිඹ පිඹ බටදඬු නලා
ජයපැන් බොන සෙබල රැලක් විලසට හඬ තල තලා
රස කර මම පවසන්නෙමි මිණි කිංකිණි සොලවලා
අසනු මැනවි අසනු මැනවි අසනු මැනවි තුටු වෙලා
පරයන ඉඳුනිල් කැට දෙනෙතෙහි ඇති කැල්මට
වසඟ නොවන්නේ කවුරුද නෑනගෙ එක බැල්මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
පොත් ටික තුරුලට අරන් මුව මදහස රැලි පෙරන්
පාසැල් යන දෙවැට දිගේ නෑනා මගෙ රත්තරන්
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මැල්ලුමකට වෙල් පලා නෙළන්න සිහිනිඟ සලා
යන විට රණ මොණරි වගෙයි මගෙ හද කුල්මත් කලා
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
අඩසඳවන් නළලතේ චන්දන තිලකය ඇතේ
රිකිපිල වැනි කෙස් කළඹට කිතුල් රෑන පැරදෙතේ
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මුහුදෙහි රළ පෙළ ගැසී භමන සදිසි යන ලැසී
ඇගෙයි මගෙයි ආදරයට ආසිරි මල් වැසි වසී
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
නැහැඹුල් හද කිතිකැවී නව රස දුන් සරසවී
මගෙ දුප්පත් පැලේ ඉන්න එනවද මදුමාධවී
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
ඔබෙන් ලැබෙන තොත්තුවේ රසයට හද පත්තුවේ
කිරියි පැණියි වගේ ඉන්න එනවද මගෙ වස්තුවේ
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
කරදර බාධක මැද්දේ දිවි ගඟ පහලට ඇද්දේ
ගල්පර දැක පෙරමුනේ මොන නදියද නැවතුනේ
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
හසරැලි නැත්නම් මුහුනේ සිතුවිලි ලස්සන නැහැනේ
වේදනාව නැති ලොවේ ජීවිත රසවත් නොවේ
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
ගන්නෙද ඔබ වාඩුවක් නැහැ මට ඉන් පාඩුවක්
හදමුද අපි කූඩුවක් වෙමුද පරෙවි ජෝඩුවක්
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මම කැමතියි නෑනට.... නෑනා කැමති නෑ මට.
Subscribe to:
Post Comments
(
Atom
)
No comments :
Post a Comment